Tuesday, April 3, 2012

ලොව භීතියෙන් මුසපත් කළ මිනී කන සත්තු...... Part 2

කාලි නදී අවතාරය

1998 වර්ශයේ අප්‍රියෙල් මස දිනයක මද්දහනකි. 17 හැවිරිදි දිල් බාහදා තරුණයා සහ ඔහුගේ පෙම්වතිය, නේපාලයේ සිට ඉන්දියාවට යාමට පාරුවක් එන තෙක් බලා සිටියේ එකට එක් ව අළුත් ජීවිතයක් පටන් ගැනීමේ අදහසිනි. පාරුව පිටත් වෙන්න වෙලා තිබුණු බැවින් දියේ මදක් ස්නානය කිරීමට සිතූ බාහදා කාලි නදියේ නොගඹුරු වතුරට බැස්සේ ඔහුගේ පෙම්වතිය ඉවුරේ සිටියදීම ය.


එක්වරම ඔහුව වතුරේ ගිලී නොපෙනී ගියේ ඔහුට වචනයකුදු කතා කිරීමට නොදෙමිනි. මේ සිද්ධිය කිහිප දෙනෙක් දුටු අතර, ඔහුගේ පෙම්වතිය විලාප තබන්නට වුණි.

කිලෝමීටර 5කට ආසන්න දුරක් දවස් 3ක් තිස්සේ සෙවුවද, ඔහුගේ සිරුර හමුවූයේ නැත.

තුන් මසකට පසු ධර්ම ඝත් නම් ප්‍රදේශයේ පිරිමි ළමයෙකු ඔහුගේ පියා ඉදිරියේ ම මරණයට පත් විය. ඔහුගේ සිරුරද හමුවූයේ නැත.


වසර 9ක් පසුවිණ. 2007 අප්‍රියෙල් මස, නගෘ ඝත් නම් ප්‍රදේශයේ භීශණය යළිත් පැතිර ගියේ ය. 18 හැවිරිදි අටල් කුමාර් තරුණයා ඔහුගේ මිතුරෙකු සමඟ දිය කෙළින්න ගිය විට කළින් ගොදුරු වූවන් සේ ම එක්වර දියේ ගිලී අතුරුදහන් විය. එහෙත් එදින ඔහුගේ ඝාතකයාව යන්තම් දැකගැනීමට ගැමියෙකු සමත් විය.

ඔහු ඝාතකයාව විස්තර කළේ දිගැටි ඌරෙකු වගේ යැයි පවසමිනි. ඔහු ඒ සතාව "සූස්" යැයි හඳුනා ගත්තේ ය.

ඊට කිලෝමීටරක් ඈතින් මීටරයක් පමණ ගැඹුරු ජලයේ වතුර බොමින් සිටි විශාල මී හරකෙකු ද අභිරහස් ඝාතකයා ගොදුරු කර ගත්තේ ය.

ගමම කැළඹුන මුත්, මේ ඝාතකයා වත්, ඝාතනයට ලක්වූ අයවත් ගම්වාසීන්ට සොයා ගන්නට නොහැකි විය.

කාලි නදී ඝාතකයා සොයා......

ජෙරමි වේඩ් නම් වු බ්‍රිතාන්‍ය ජාතික පරිසර විශේෂඥයා තම වැඩසටහනකට (River monsters) මේ අභිරහස තොරා ගත්තේ මේ අවදියේ දීය.

ඔහුගේ නිරීක්ෂණ වලින් අනාවරණය වූයේ සිද්ධීන් සිදුවූයේ එකිනෙකට නොදුරින් බවයි. ඔහු මුලින් ම සිතුවේ මෙය දිය සුළියක ක්‍රියාකාරීත්වයක් බවයි, ඒ, කාලි නදිය ප්‍රචන්ඩ වූ බැවිනි. එහෙත්, එය බැහැර කිරීමට හේතු වූයේ, කාලි නදියේ නිසසලම ස්ථාන වල ඝාතන සිදු වීමයි.

ඔහුගේ දෙවන උපකල්පනය වූයේ මෙය කිඹුලෙකුගේ ක්‍රියාවක් බවයි. එහෙත්, සීතල, ප්‍රචන්ඩ කාලි නදිය කිඹුලන්ට හොඳ නිවහනක් නොවූ අතර, ඝාතන සිදුවූ අවට කිසිම කිඹුලෙක් සොයා ගැනීමට ජෙරමි මහතා අපොහොසත් වුනා.

ඔහු මීළඟට "සූස්" නම් සත්වයා ගැන වැඩිහිටි ගැමියෙකුගෙන් විමසුවා. සූස් යනු කළු පැහැති විශාල මත්ස්‍යයෙක් බවත්, උගේ මුඛය විවෘත කිරීමේන් සෑදෙන විවරයට සැම දේම ඇදගන්න බවත් ඔහු පැවසුවා. ඊට අමතරව, උගේ බාහිර පෙනුම ගූන්ච් නම් හුංගා වර්ගයට අයත් මත්ස්‍යයාගේ මෙන් බවත් ඔහු පැවසුවා.

මේ කතාබහෙන් ජෙරමි මහතාගේ පරීක්ෂණය වෙන අතකට යොමු වුනා. ඔහු මෙම ගූන්ච් නම් මත්ස්‍යයා ගැන සොයන්නට පටන් ගත්තා. මීටරයක් පමණ දිගු ගූන්ච් මසුන් දැකීමෙන් ඔහුගේ සැකය තවත් තහවුරු වුණා.

අවසානයේ ජෙරමි වේඩ් මහතාට අසු වුනේ අඩි 6කටත් වඩා දිගු අති විශාල ගූන්ච් මත්ස‍යෙක්. කාලි නදියේ අතිශයින් ලොකු ගූන්ච් මසුන් සිටින බව එයින් තහවුරු වුණා. "දිගැටි ඌරෙකු" යන විස්තරයට මත්සයාගේ කොරපොතු රහිත සියුම් සම ඉතා හොඳින් ගැළපුනු අතර, මේ සූස් නම් මිත්‍යා සත්වයා නොව, අසාමාන්‍ය ලෙස වැඩුනු ගූන්ච් මත්ස්‍ය‍යෙක් බව එයින් පසක් වුණා.

ජෙරමි වේඩ් අල්ලාගත් දැවැන්තයා සමඟ....


මීටරයකට වැඩියෙන් දික් නොවන මත්ස්‍යයෙක් ලෙස දැන හුන් ගූන්ච් මත්ස්‍යයා මෙළෙස වැඩුනේ ඇයි?

හින්දු චාරිත්‍ර වලට අනුව, කාලි නදී ඉවුරේ මළ මිණි ආදාහන කටයුතු බහුලව සිද්ධ වන අතර, මුළුමනින්ම පිළිස්සී යාමට පෙර මළමිණි ගඟට වීසි කිරීම සමහර ජනයා විසින් කරනු ලබයි. ගඟට දැමූ මළමිණි කා අසාමාන්‍ය ලෙස වැඩුනු මත්ස්‍යයෙකු මිනීමස් වලට පුරුදු වීම අරුමයක් නොවෙයි.

ගූන්ච් මත්ස්‍යයා දැනට වඳ වීමේ තර්ජනයකට මුහුණ පා සිටින මත්ස්‍යයෙකු බැවින්, උන්ගේ වාස භූමිය මළමිණි වලින් අපිරිසිදු නොකර, උන් ආරක්ෂා කළ යුතු බව සැමදෙනාගේ ම මතය වුණා.....

No comments:

Post a Comment